Logo
2019 නොවැම්බර් මස 17 වැනි ඉරිදා

ගඟ දිගේ මුහුදටම ගසාගෙන ගිය රජුන් ඉගැන්වූ වැසිදිය පරිහරණ පාඩම.. විශාලම වැසිදිය නෙළනය පිදුරංගල බවට මතයක්

සනත් එම්. බණ්ඩාර


මහනුවර පැත්තේ එක්තරා රාජ්‍ය ආයතනයක් ඉදිරියේ දහවල් කෑම පැයේදී විරෝධතාවක් පැවැත්වුණි. කාඞ්බෝඞ් කැබලි මත පාට රටහුණු වලින් දන්නා තරමින් විරෝධතා වැකි ලියාගත් පිරිසක් පාර අයිනට පැමිණ ඒවා ප‍්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක් දක්වති. පෙනුමේ හැටියට ඔවුන් ආයතනයේ සුළු සේවකයන්ය. ඔවුන් දෙස නොබලා පාගමනින් එතන පසුකර යෑමට කලින්ම සිත එකඟ කරගෙන සිටියද, මගේ උත්සාහය සාර්ථක නොවූයේ එක් විරෝධතාකරුවෙකුගේ අහිංසක නිහඬ බැල්ම මාගේ දෙපයට විලංගු දැමූ බැවිනි.
 
 ”මොකක්ද ප‍්‍රශ්නේ” නිකමට හෝ අසා දැනගත යුතුයැයි සිතුන නිසා මා විමසුවේ ප‍්‍රදර්ශන වැකි වලට වඩා එහාට ගිය යමක් දැනගැනීමටය. තම කාර්යාලයේ ප‍්‍රධානියාට ළංව සිටිනා පුද්ගලයෙක් විසින් මේ සේවක පිරිස ගැන නොයෙකුත් මුසාබස් පවසමින් ප‍්‍රධානියා හා සේවකයන් අතර ඇති සංහිඳියාව පලූදු කරන බවත්, ලොක්කාත් 
 
 ඔහුගේ කීම ඉස් මුදුනින් පිළිගෙන කටයුතු කරන නිසා සේවක පිරිසට අසාධාරණයක් වන බවත් ඔහු කෙටියෙන් පැවසූ තොරතුර විය.
 
 ”කාට කියන්නද කියල අපිටවත් තේරෙන්නේ නෑ මහත්තයෝ. රටේ කෙරෙන විධියට බෝඞ් වල ලියාගෙන පාර අයිනේ හිටගත්තේ පුළුවන් කෙනෙක්වත් දැකල අපිට සහනයක් දෙයි කියල හිතාගෙන”තවත් අහිංසකයෙක් මා හට උත්තර බැඳීමට ඉදිරිපත් වේ. මේ නම් අමුතුම විරෝධතා කරුවන් පිරිසකි. ඒ තරමටම නිහඬය, තැන්පත්ය. පලවා හරින්නට ඕනෑනම් කඳුළුගෑස් ජලප‍්‍රහාර ආදී කිසිවක් අවශ්‍ය නැත. හඳුන්කූරු දුමක් ඇල්ලූවත් ඔවුන් දුවන තරම්ය. පාලකයන්ට හේත්තු වී කේලාම් කියමින් පාලිතයින් පෙළනා ආවතේවකරුවන් මේ සමාජයට අමුත්තන් නොවේ. ඉතිහාසය පුරාමද ඔවුහු සිටියහ. පොද වැස්සක සූදානමකුත් තිබූ නිසා මා හට දියවර දෙවියන් මතක්වුනි. එතුමාද එදා නොමග ගියානම්, මේ විරෝධතාකරුවන්ගේ ප‍්‍රධානියා ගැන කිනම් කතාද? කලකට පෙර පොතකින් කියවූ එම කතාව සිත තුළ දිගහැරෙද්දී පොද වැස්සේම අඩිය ඉක්මන් කළෙමි. දියවර දෙවියන් නමින් ජනතා බුහුමනට පාත‍්‍ර වූයේ තුන්වෙනි සියවසේ විසූ මහසෙන් රජතුමාය. ඔහුටද ළංවී කේලාම් කියමින් රට අවුල් කළ කෙනෙක් සිටියේය. ඒ දකුණු ඉන්දියාවේ සිට පැමිණි සංඝමිත‍්‍ර නම් මහායාන භික්ෂුවයි. මේ අහිංසකයන්ට අද සිදුවෙන්නා සේ රජු ලවා විහාරවාසී භික්ෂූන්ට හිරිහැර කරවූයේ සංඝමිත‍්‍රය. අද මෙන් පිකටින් හරහා තවෙකෙක් දැනුවත් කිරීමේ ක‍්‍රමයක් එදා නොතිබුනත්, මේ විනාශය අවබෝධ කරගත් මේඝවර්ණ නම් සෙනෙවියෙක් රජු හා සටනට පැමිණ, අනතුරුව රජුහට කරුණු අවබෝධ කරදෙමින් එතුමාව යහමගට ගත් අතර වරද පිළිගත් මහසෙන් රජතුමා සංඝයාගෙන් සමාව ඉල්ලා යහපාලනය ක‍්‍රියාත්මක කර තිබේ. වෙහෙර විහාර ඉදිකිරීමට අමතරව මින්නේරි වැව ඇතුළු මහ වැව් 16 ක් ඉදිකළ මහසෙන් රජු ‘දියවර දෙවියෝ. ලෙසින් ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ බව ඉතිහාස පුවතේ කියවේ. අදටත් ”මින්නේරි දෙවියෝ” ලෙසින් ජනතාව එතුමාව අදහති. සිදුකළ වැරදි පිළිගෙන නිසි මාවතට අවතීර්ණව, සමාජ අභිවෘද්ධියට කටයුතු කරන්නේ නම්, දේවත්වයෙන් පිදුම් ලබන්නට වුවත් හැකිබව වත්මන් සමාජයට වුවත් ප‍්‍රයෝජනවත් පුවතක් නිසා මහසෙන් කතාව මේ මොහොතටත් ගැළපෙන්නේය. 
 
water2එදා එතුමන් තැනූ මින්නේරිය වැව මෙරට ඉදිකළ ප‍්‍රථම විශාල ජලාශයයි. විශාලත්වයෙන් එය අක්කර 4500 ක් වසා සිටී. පරාක‍්‍රම සමුද්‍රය, මහකනදරාව වැව, කලාවැව ආදිය ඉදිකෙරුවේ මීට පසුවය. මෙය ලංකාවේ වාරි ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි. වැව් ඉදිකරමින් එකතුකරනු ලැබුවේ මහපොළොවට වැටෙන වැසි ජලයයි. මහ පැරකුම් නිරිඳාණන් පොළොවට වැටෙන හැම ජල බිඳුවක්ම සයුරට නොයවා රැකගත යුතුයැයි උපදෙස් දුන්නේද වැසි ජලයේ වටිනාකම ගැන පුළුල්ව තිබූ මේ අවබෝධය නිසාමය. එකල මේ අරපිරිමැස්ම හා තාක්ෂණය කෙතරම් පුළුල්ව ව්‍යාප්තව පැවතියාද යන්න සිතාබැලීමට හොඳම උදාහරණය වන්නේ සීගිරියයි. කාශ්‍යප රජුගේ සීගිරි බලකොටුව මුළුමනින්ම වැසි ජලයෙන් යැපුණු ස්ථානයක් බව සනාථ කිරීමට ඕනෑතරම් කරුණු තිබේ.
 
 අහිංසක උද්ඝෝෂකයන්ගේ නොමග ගිය පාලකයා ගැන සිතන්නට ගොස් මතකයට ආ දියවර දෙවියෝ හරහා මා සිත තුළ අවදිවෙමින් තිබෙන්නේ පෙර රජ දවස අපට කියාදුන් වැසිදිය පරිහරණ පාඩමයි. බොහෝ දෙනෙක් මෙය දන්නේ රේන් වෝටර් හාවෙස්ටින් (Rain Water Harvesting) යන ඉංග‍්‍රීසි යෙදුමෙන්ය. සිංහලෙනුත් මා එය ලියූවේ එබැවිනි. වියළි කලාපයේ දිළිඳු පවුල් වලට ජල ටැංකි බෙදාදෙමින්, වහලයට වැටෙන ජලය ප‍්‍රයෝජනවත් ආකාරයට එම ටැංකි වලට එකතුකරගන්නා ක‍්‍රමවේදය කියාදෙන ආයතන ගණනාවක් අද මෙරටද ඇතුළුව ලොව පුරාම ක‍්‍රියාත්මකය. එහෙත් මෙම තාක්ෂණයේ සාඩම්බර අයිතිකරුවන් අප බව දන්නේ කී දෙනෙක්ද? මුළු රටම එක නිවසක් සේ සලකා, සමස්ත ජනතාවම එහි නිවැසියන් බවත්, වසර පුරාම වැසි පතිතවෙන කඳුකරය මේ නිවසේ පියස්ස ලෙසටත් පිළිගනිමින් මහා පරිමාණයේ වැසිදිය පරිහරණයක් අපේ රජදරුවන් නිර්මාණය කරද්දී, අද දවසේ දියුණු යැයි කියාගන්නා ලෝකවාසී ජනතාව චග්ගුඩු පනිනවාට වඩා දෙයක් දැන සිටින්නට නැත. තවත් ඇඟට දැනෙන්නට කියනවානම්, සල්ලාල සගයින් 700 දෙනකුත් සමග තම්මැන්නා වෙරළට හයවෙනි සියවසේදී විජය රජු ගොඩබසිනා විට, මෙහි සිටි අපේ ඇත්තෝ මාදුරුඔය පැරණි සොරොව්වත් සාදා අවසන්ය. ගල් පතුරු හා ගඩොලින් නිමවා තිබූ සොරොව්වේ කැබලි ඇමරිකාවේදී කාබන් පරීක්ෂාවට ලක්කළ පසු ඒවා පළමු සියවසට අයත් යැයි සනාථ වූ බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වාර්තා කර තිබේ. එහෙත් අද බොහෝ ඉතිහාස පොත්වල දැක්වෙන්නේ මෙම සොරොව්ව හය වෙනි සියවස සමයේදී, එනම් විජයගේ ආගමනයට සමපාතව ඉදිකර ඇති බවයි. එහෙත් ඇත්ත කතාව නම් අපගේ වාරි ශිෂ්ටාචාරය විජය එන්නටත් වසර 500 කට පෙර පවා යහතින් වැජඹුණු බවකි.
 
 වැසිජල පරිහරණ නිර්මාණයේ ඉතිහාසගත වගතුග තලූ මරමින් ඇසිය යුතු සුන්දර කතාවකි. එය ඇසිය යුතු නිසාම මෙන්ම ඒ ගැන රටට දැනගන්නට ලිවිය යුතු නිසාම මම ඔහු සොයා ගියෙමි. කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණය පිළිබඳ පර්යේෂකයෙකුව සිටි ඔහු දැනට රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි.
 
 ”වැසිදිය පරිහරණයේ මුල් පාඩම් අපිට කියල දුන්නේ පෙර විසූ රජවරුන් කියන මතයට මමත් එකඟයි. වැසිදිය නෙළනවා කියල මෙය කෙළින්ම සිංහලට පරිවර්තනය කෙරුවත් අතීතයේ මෙය කෙරුණේ පියවර තුනකට. පළවෙනි එක තමයි ජලය ලබාගැනීම. ඉහළ කඳුකරයේ ගංගාද්‍රෝණි වලින් තමයි වැටෙන වැහි වතුර පොලොවට ලැබුනේ. එල්ලංගා වැව් පද්ධතිය හරහා කුඩා වැව් වලටත්, අනතුරුව වියළි කලාපයේ හදල තිබුන විශාල වැව් වලටත් මේ වතුර ආව. එතන ජලය ගබඩා කළා. ඒ තමයි පරිහරණයේ දෙවන පියවර. පසු කලෙකදී තුන්වෙනි පියවර වශයෙන් ගබඩා කර තිබූ ජලය මිනිස් අවශ්‍යතාව සඳහා භාවිතා කෙරුව.”
 
 අප විද්වතාණන් හඬ අවදිකරමින් කතාව අරඹයි. නමින් ආචාර්ය පී. බී. ධර්මසේන වන ඔහු පවසන පරිදි වර්තමානයේ නිවාස මට්ටමෙන් ක‍්‍රියාත්මක වන වැසිදිය පරිහරණ ක‍්‍රමවේදයන් ප‍්‍රසූතිය ලැබීමටත් පෙර මෙරට රජ දරුවන් මහා පරිමාණයෙන් මෙය ක‍්‍රියාත්මක කර තිබේ. අප මේ තාක්ෂණයේ අයිතිකරුවන් බව, බය නැතිව කිව හැක්කේ එබැවිනි. ලංකාවේ වියළි කලාපයේ පිහිටන බොහොමයක් ප‍්‍රධාන වැව්, මුහුදු මට්ටමට මීටර් 50 ක් උසින් රටවටා අඳිනු ලබන වෘත්තාකාර රේඛාවක් ඔස්සේම පිහිටා තිබෙන බවද ඔහු පෙන්වාදෙන කරුණකි. ලාංකික භූමිය දෙස ඉහළින් බලා, කඳුකරයට වැටෙන වතුර, රටවටා එකම මට්ටමකදී ගබඩා කළහැකි අයුරින් වැව් සැලැස්මක් නිර්මාණය වී තිබීම කෙතරම් විශ්මය දනවන්නක්ද? මෙය එක රජෙකු අතින් හදිස්සියේ සිදුවූවක් නොව, වැව් කරවූ සියලූ නරපතියන් සතුවූ දැනුම නිසා ලද ප‍්‍රතිඵලයකි. මීටර 50 කට පහළ මට්ටමේ තිබූ සාරවත් ගොවිබිම් අස්වැද්දීම සඳහා වැව් ජලය ක‍්‍රමයෙන් නිදහස් කරගත් නිසා අපතේ යෑමක් සිදුවී නැත. එය පැරකුම් වචනය අකුරටම ක‍්‍රියාත්මක කිරීමකි. කඳුකරයට වැටෙන වැසිදිය, මඳක් පහළට රැගෙනවිත් වැව් තුළ ගබඩාකර, අවශ්‍ය විටදී රජරට අස්වැද්දීමට භාවිත කළ නිසා ගංගා ඔස්සේ ගොස් මුහුදට වැටෙනා ප‍්‍රමාණය 12-20% ක් තරම් සුළු ප‍්‍රමාණයක් බව ගණන් බලා තිබේ. එහෙත් රජුන්ගේ මේ ව්‍යාපෘතියට කැලණි, කළු හා ගිංගඟ වැනි තෙත් කලාපයේ තිබූ ගංගා හසුවූයේ නැත. ඒ නිසා අදටත් ඒවාහි ජලය 65-70% ක් පමණ ප‍්‍රමාණයක් මුහුදට ගලා යයි. ඒ අනුව රජුන් කියාදුන් වැසිදිය පරිහරණයේ පාඩම, අද වනවිට මහ මුහුදටම ගසාගෙන ගොස් අවසන් බව පැවසීමේ වරදක් නැත.
 
water4ධර්මසේන ශූරීන් රජරට ප‍්‍රදේශයේම දිගුකලක් වෙසෙමින් ජල කළමනාකරණ පර්යේෂණයන්හි නිරත වූයෙකි. වැසිදිය පරිහරණයේ පද්ධති අතරින් තවත් කාර්යක්ෂම නිර්මාණයක් ලෙස ඔහු හඳුන්වා දෙන්නේ සීගිරියයි. සියුම් නිරීක්ෂණයන් ගණනාවකට පසුව ඔහු ඉදිරිපත් කරන කල්පිතය වන්නේ සීගිරි රාජධානිය නඩත්තු කිරීමට අවශ්‍ය වැසිජලය නෙළාගෙන ඇත්තේ ඒ අසල ඇති පිදුරංගල පර්වතය මතින් බවය.
 
 ”භූ විද්‍යාත්මක සිද්ධාන්තයන්ගෙන් කියවෙන්නේ පොළොවෙන් ඉහළට තිබෙන විශාල ගල් පර්වත, යම් භූ චලනයක් නිසා පොළොවෙන් ඉහළට තල්ලූවෙලා පැමිණි ඒවා කියල. එහෙම ආවනම් එම පර්වත ඉහළින් බුබුලාකාරව තියෙන්න ඕනෑ. මතුපිට පැතලි වෙන්න බෑ. හැබැයි පිදුරංගල පර්වතය මතුපිට පැතලියි. ඒකෙ තේරුම මිනිසුන් ගල පුපුරවල මතුපිට පැතලි කරලා තියෙනවා. අවට තිබෙන ලොකු ගල් කුට්ටි එතනදී බිමට වැටුණු ඒවා විය යුතුයි. ප‍්‍රධාන පර්වතය මත පවා ඒ විශාල පිපිරුම නිසා සැදුනා යයි සිතිය හැකි දෙදරුම් දකින්න පුළුවන්”
 
 මිනිසුන් විසින් පර්වතය පුපුරවා කොටසක් බිම දමා, මතුපිට පැතලි කරන්නට ඇත්තේ වැසි ජලය එකතුකරගැනීමට යැයි ඔහු සාධාරණ තර්කයක් මතුකරයි. මෙලෙස සාදාගත් මතුපිට ක්ෂේත‍්‍රඵලය අක්කර 5 ක් පමණ වේ. මුහුණතේ ඉහළ පෙදෙස උත්තල පෘෂ්ඨයක් වන අතර පහළ කොටස අවතලව බේසමක් සේ නිර්මාණය කර ඇත්තේ ඉහළින් ගලාඑන ජලය රඳවා ගැනීමටයි. වැටෙන වතුර පර්වතයේ හැම පැත්තෙන්ම පහළට බේරී අපතේ යා හැකි බැවින් එය වැළැක්වීමටද පියවර ගෙන ඇති බවක් පෙනේ. ස්වභාවික පිහිටීමක් නොවන බවට බැලූ බැල්මට පෙනෙන දාරයක් පර්වතයේ පැතලි මුහුණත වටා පිහිටන බව පෙන්වාදෙන ආචාර්ය ධර්මසේන, වැටෙන හැම ජල බිඳක්ම එකතුකර ගැනීමේ හැකියාව මේ අනුව නිර්මාණකරුවන්ට ලැබී ඇති බව සනාථ කරයි.
 
 ”පර්වත මුහුණතේ පහළම කොටසේ ආවාට වැනි දේ දකින්න පුළුවන්. මේවා තුළට වතුර එකතු උනහම රොඩුබොඩු එහෙම තියෙනවනම් පතුළට බැහැල වතුර පිරිසිදු වෙනවා. මතුපිටින් උතුරලා යන ජලය තමයි පිදුරංගලින් පහළට අරගෙන තියෙන්නේ. ඒ සඳහා පර්වතයේ සෑදූ කුඩා කාණු වැනි දේ අදටත් පැහැදිලියි.”
 
 පිදුරංගල යනු අද සංචාරකයන් ගැවසෙන ස්ථානයකි. සීගිරියට යන බොහෝ දෙනා පිදුරංගලටද යන්නෝය. ඒත් අපගේ ආදි විරුවන් විසින් ඉදිකළ මේ මහා වැසිදිය නෙළනය ගැන කී දෙනෙක් විපරම් කර ඇත්ද? ජෝර්ජ් තාලින් නම් ඇමරිකානුවා වරෙක මෙසේ පැවසීය. ”සමහරු වීදුරුව බාගෙට පුරවලා කියා පවසද්දී තවත් අය වීදුරුව බාගෙට හිස් කියා කියති. මට හිතෙන්නේ වීදුරුව ලොකු වැඩියි”. එනම් නිගමනය බිහිවන්නේ බලන්නාගේ ඇසේ ස්වභාවය අනුවය. පිදුරංගල බලන්නට යන්නවුන්ද පර්වත මුහුණතේ ඇති මේ විසිතුරු දැක මොනවා හිතනවාදැයි අප නොදනිමු. බොහෝ දෙනෙක් වැඩකට ඇති යමක් පෙරදැරිව ඒ දෙස නොබලනා බව නම් පැහැදිලිය. පසුගිය දිනෙක පිදුරංගලට නැගගත් ගැටවුන් කීපදෙනෙක් උපන් ඇඳුමට මාරුවී ඡුායාරූප ගත් බවක්ද වාර්තා වූයේ, අපේ රැහේ උන්ගේ වැඩකිඩ ගැන මේ ගැටවුන්ට තිබූ අනවබෝධය නිසාමය. එවන් පසුබිමක ඉතිහාසය හාරා තොරතුරු ජනනයට සමත් දෙනෙතක් හිමි ආචාර්ය ධර්මසේනයන් රටට සම්පතකි. එහෙත් ඔහු පුරා විද්‍යාඥයෙක් නොවේ. මේ ඉදිරිපත් කරන්නේ නිරීක්ෂණ මත ගොඩනැගූ කල්පිතයකි. විද්‍යාත්මක ක‍්‍රමය මැනෙවින් හදාරා ඇති ඔහු කල්පිතයක හැඩරුව හොඳින් හඳුනයි. ඊළඟ පියවර වන කල්පිතය පරීක්ෂා කරන්නට කෙනෙක් නොමැතිනම්, කල්පිතය කල්ඉකුත්වී පල්වී යන්නේය. ඊට පෙර මේ පර්යේෂණ සිදුවිය යුත්තේය. එවන් සාධනීය පර්යේෂණ වාර්තා ඇත්නම්, මේ පද්ධතිය යළි ක‍්‍රියාත්මක කරන්නට බලධාරීන් වෙතින් ව්‍යාපෘති යෝජනා වුවද බිහිවෙන්නට ඉඩ තිබේ. ධර්මසේන වෙතින් යෂ්ඨිය රැගෙන තම සීමාව පසුවෙන තෙක් දුවන්නට පුරාවිද්‍යා හසලයන් පෙරට ආ යුත්තේ එබැවිනි.
 
 ”පිදුරංගල සිට සීගිරි උද්‍යානය වෙත නළ පද්ධතියක් ඔස්සේ ජලය ගෙන එන්න ඇති. එකිනෙක සම්බන්ධ කරලා දිග නළයක් හදාගන්න පුළුවන්, මැටි වලින් හදපු නළ කොටස් පවා අවටින් හමුවෙලා තියෙනවා. ඉහළ හා ඈතක සිට එන මේ ජල පහර ලොකු පීඩනයකින් දරනවා. සීගිරි උයනේ තිබෙන වතුර මල් ක‍්‍රියාත්මක කිරීමට මේ අනුව පුළුවන්. ඒ මල හරහා වතුර වැටෙන්නේ පොකුණට. මේ පිරිසිදු වතුර අවට වැසියන්ට සම්පතක්.”
 
 ආචාර්ය ධර්මසේන මේ කතා කරන්නේ ජල පිරිපහදුව ගැනයි. වර්තමානයේ වුවද මහජනයා උදෙසා බොන වතුර සම්පාදනය කිරීමේදී පළමුව කරන්නේ ගෙඟන් ගන්නා ජලය, වතුර මලක් හරහා යවා වාතනය කරමින් එහි වෙසෙනා හානිකර නිර්වායු ජීවීන් විනාශ කිරීමය. කස්සප රජතුමා සීගිරි උයනේ පොකුණට පිදුරංගලින් එන ජල ධාරාව නිකම්ම අතහරින්නේ නැතිව වතුර මලක් හරහා යවා ඇත්තේ වාතනය කිරීම හරහා පවිත‍්‍ර කිරීමට යයි සිතුවොත්, එය සරලව ඉවතලන්නට නොහැකි සිතුවිල්ලකි.
 
water3අපගේ විද්වතාණන් කඩදාසියක් මත ඉලක්කම් හරඹයක් කරමින් සිටී. මා වැඩිපුර අවධානය යොමුකළේ හරඹය අතරතුර සමාන කිරීමේ ලකුණක් යොදමින් හා අනතුරුව යටින් ඉරිකෑලි දෙකක් අඳිමින් ඔහු ලබාගන්නා උත්තර පිළිබඳවය. එක පේළියක අවසන් පිළිතුර ලෙස ඇත්තේ සීගිරිය ඇති පළාතට වර්තමානයේ වුවත් ලැබෙන වාර්ෂික මුළු වර්ෂාපතනයෙන් 75% ක අගයකි. එය මිලිමීටර් 630.2 කි. එදා කාශ්‍යප යුගයේ නම් අනිවාර්යෙන්ම මීට වඩා වැසි ලැබෙන්නට ඇත. මේ වැස්ස අක්කර පහක් වූ පිදුරංගල පර්වත මුහුණතට පතිතවී, ඉන් 20% ක් අපතේ ගියා සේ සලකා වුවද, සීගිරි උයනට යැවීම සඳහා නෙළාගත හැකි වැසිදිය අස්වැන්න තවත් තැනක ඔහු ගණනය කර තිබේ. ඒ ඝනමීටර් 10000 ක් වශයෙන්ය. මෙවන් වාර්ෂික ජල සංචිතයක් මිනිසුන් කී දෙනකුට ප‍්‍රයෝජනවත්ද? කඩදාසියේ තවත් තැනක යටින් ඉරිගැසූ උත්තරයකි. දිනකට ලීටර් තුනක් පානය කරන්නේනම් 9000 ක ජනතාවක් පානීය ජලයෙන් සනහන්නට මේ සංචිතය සමත්වෙන බව කඩදාසිය මත සාධනය වී හමාරය. කලාකාමී සිතුවිලි වලින් පිරිපුන් කස්සප රජු සීගිරි පර්වතය මත සිට, තම උද්‍යානයේ පොකුණුවල පිරී ඇති, බීමට සුදුසු පැන් ගෙනයෑමට පැමිණෙන රුසිරු ළඳුන් දෙස බලා සිටිනා අයුරු මා ඉදිරියේ මැවී පෙනේ. මේවා පිදුරංගලින් නෙළා, එහිදීම පිරිපහදුකර, සීගිරි පොකුණුවලට ගෙනැවිත් පිරිසිදු වාතය සමගද කැලතූ බීමට සුදුසු පැන් බැවින් අවට වෙසෙන්නන්ට අද දවසේ මෙන් කිවුල පිරි භූගත ජලය බොන්නට සිදු නොවන්නට ඇත. නොදන්නා වකුගඩු රෝගයට වුවද කිවුල් ජලයේ සබඳතාවක් ඇති බව වර්තමානයේදී තහවුරු වී ඇති නිසා මේ ජල ව්‍යාපෘතිය එකල ජනතාවට ආශීර්වාදයක් වන්නට ඇතැයි සිතේ. 
 
 අහසින් වැටෙන එක ජල බිඳක්වත් සාගරයට නොයවන්නයයි කියූ පැරකුම්බා වචනය අද වාතලය හා මුසුවී අතුරුදන්ය. අහසින් වැටෙන වැසිදියෙන් 60% කටත් වඩා ප‍්‍රමාණයක් නාගරිකයාගේ ටොයිලටයකටවත් ගොඩ නොවී මුහුදටම ගලා බසින්නේ රජුන් අපට ඉගැන්වූ වැසිදිය පරිහරණ පාඩමත් ජලයේම දියකරගෙනය. කිවුල් ජලය බීමෙන් රජරට පුරා වකුගඩු රෝගීන්ය. පිදුරු ගහකවත් එල්ලී සිටිය යුතු නිසා දෝ, ඉඳහිට හෝ වහලයට වැටෙන වතුර ටික පීල්ලක් හරහා විත් එකතුවන්නට, අමුතු හැඩැති ජල බූලියක් ගෙයි මිදුලේය. වැසිදිය නෙළනා මෙහෙවර අහිමි වුවත් තවමත් හද ගැහෙනා නිසොල්මන් පිදුරංගල, තමාට පණ දෙන්නට හැකි නූතන කස්සප යළි උපදින තුරු, සීගිරි පවුර දෙස බලා සිටී.

 

- Divaina E Paper






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'